සමනොළ
හිම ගිරි අරණ
සම්බුදු පහස ලද උතුම් ශ්‍රී පා අඩවිය ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වූ වන්දනා ස්ථානවලින් එකකි.
ශ්‍රී පා වන්දනාව බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි යන සියලු දෙනා විසින් ම සිදු කරනු ලැබේ.
එක් එක් ආගම් මත පදනම්ව බුදුන් වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ හෝ ශාන්ත තෝමස් මුනිඳුන්ගේ පූජනීය පා සටහන ශ්‍රී පාදස්ථානයේ ඇති බවට විශ්වාස කෙරේ.
ශ්‍රී පා වන්දනාවේ දී කෝඩුකාරයින් ලෙස හැඳින්වෙන පළමුවර ශ්‍රී පා වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්, කිරිකෝඩු සහ දඬුකෝඩු ලෙස කොටස් දෙකකි.
ශ්‍රී පා කරුණාවේ දී මකර තොරණ, සීත ගඟුල, ගෙත්තම්පාන, මහගිරි දඹය වැනි පූජනීය ස්ථාන පසුකරමින් යන විට බැතිමතුන්, සිය ගමනේ විඩාව නිවා ගැනීම සඳහා ඉපැරණි කවි ගායනා කරනු ලැබේ.
“වඳින්ට යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ නඩේට – සමන් සුරිඳු කරුණාවයි”
ශ්‍රී පා කරුණාව දුෂ්කර වනුයේ කයට ඔරොත්තු නොදෙන තරම් දැඩි සීත දේශගුණය නිසාවෙනි. දැඩි සීතලට ඔරොත්තු දෙන ඇඳුම් පැළඳුම් මෙන් ම එහි රැගෙන යන කැවිලි පෙවිලි අතර අග්ගලාවට ලැබෙන්නේ විශේෂ සැලකිල්ලකි.
"අග්ගල කන් ඩෝං පුතා - හෙලේ නගින් ඩෝං පුතා"
උතුම් ශ්‍රී පා අඩවිය පිළිබඳ බැතිබර හැඟුමන් පිරුණු ශ්‍රී පා වන්දනාකරුවන්ගේ හද බුදු පුදට සැදුණ පුදසුනක් වූ අයුරු අසිරිමත් ය.
“අපේ බුදුන් අපි වදින්ඩ - පෙරළි පෙරළි අපි වදින්ඩ”
ශ්‍රී පා පරිසර වරුණාව
ශ්‍රී පාද අභයභූමියේ කොටසක් ලෙස නම් කර ඇති ශ්‍රී පාදස්ථානය යුනෙස්කෝ සංවිධානයේ ද පිළිගැනීමට ලක් වූ ජෛව විද්‍යාත්මක වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති සංවේදී පරිසර කලාපයකි.
ශ්‍රී පාදය ගැන ඔබ නොදත් තතු :
- වර්ග කිලෝමීටර් 224ක වැසි වනාන්තර, මීදුම් (වලාකුළු) වනාන්තර සහ කඳුකර වනාන්තර පද්ධති ආවරණය කරනු ලැබේ.
- ශ්‍රී පා අඩවිය තුළ ලංකාවට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ 50 කට අධික සංඛ්‍යාවක් හඳුනාගත හැකි වේ.
සැබෑ පදිංචිකරුවන්
- ශ්‍රී ලාංකික දිවියා (අතිශයින් ම වඳවීමේ තර්ජනයට ලක් වී ඇත)
- දම් පැහැ මුහුණැති ලැන්ගර් (දම් පැහැ මුහුණැති කොළ වඳුරා)
- මයිල ගොයා
- මහනුවර මැඩියා (වසර 133ක් වඳ වී ගොස් ඇතැයි සැළකීමෙන් පසු නැවත සොයා ගන්නා ලදී)
හරිත සාමාජිකයන්
- සපු
- නැදුන්
- කැකුණ
- හොර
- බෙරලිය
ජලවිද්‍යාත්මක වැදගත්කම
ශ්‍රී පා අඩවිය මහවැලි,කැලණි,කළු සහ වලවේ යන ප්‍රධාන ගංඟා හතරේ ආරම්භක ජල මූලාශ්‍රය වේ.
ශ්‍රී ලංකාවේ පහත් බිම් ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන් ම නාගරික ප්‍රදේශවල ජල සැපයුම සඳහා ද මෙම ගංඟා මඟින් ඉහළ දායකත්වයක් සපයනු ලැබේ.
මොහොතක් සිතන්න..
දෙස් විදෙස් වන්දනාකරුවන් දහස් ගණනක් එකතු වන ශ්‍රී පා වන්දනාව නිසා ශ්‍රී පාදස්ථානය අවට ස්වාභාවික පරිසරයට එල්ල වන බලපෑම සුළු පටු නොවේ.
ශ්‍රී පා අඩවියට බලපා ඇති ඉහළ ම තර්ජන අතර,
- ශ්‍රී පා ගමන් මාර්ගය දෙපස සහ ජල මාර්ග අවට ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය එකතු වීම.
- වන විනාශය සහ අනවසර ඉදිකිරීම් හේතුවෙන් පරිසරය විනාශ වීම.
- දේශගුණික විපර්යාස හේතුවෙන් කාලගුණික රටා සහ වන ආවරණයේ වෙනස්කම් ඇති වීම.
- විශේෂයෙන් වන්දනා සමයේ දී වන්දනාකරුවන් හා සංචාරකයින් අධික ලෙස පැමිණීම හේතුවෙන් පාංශු ඛාදනය හා කුණු කසළ දැමීම අධික වීම.
මෙම හේතූන් නිසා ශ්‍රී පා අඩවියට ආවේණික දුර්ලභ ජීවීන් වඳ වී යාමේ තර්ජනයට ලක් වනවා පමණක් නොව, ශ්‍රී පාදස්ථානයේ ආගමික වටිනාකම සඳහා මෙන් ම පාරිසරික සුන්දරත්වය සඳහා ද විශාල වශයෙන් බලපෑම් ඇති කරයි.